වර්ෂ තිස්පන් දහසකට අධික ප්රාග් ඓතිහාසික සාක්ෂි සපයන ශ්‍රී ලංකාවේ ඉතිහාසය, ක්‍රි.පූර්ව 543 දී විජය කුමරුගේ ආගමනයත් සමඟ ක්‍රමවත්ව ආරම්භ වෙයි. හත්සියයක් සහපිරිවරින් තම්මැන්නාවට ගොඩබට විජය කුමරු එවකට ලංකාවේ විසූ යක්ෂ ගෝත්‍රික කුවේණිය සමඟ විවාහයට පැමිණ තම්මැන්නා නුවර රාජධානිය කොට වර්ෂ 38 ක් රාජ්‍ය කළේය.එතැන් පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස දක්වා ප්‍රධාන රජවරුන් 179 දෙනෙකුගෙන් පිරි රාජාවලියක් ශ්‍රී ලංකාව සතු වේ. තත්කාලීන යුගයේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික හැඩගැසීම ශ්‍රී ලංකාවේ මුල්ම රාජධානිය වශයෙන් සැලකෙන අනුරාධපුර යුගයේ මිහිදු මාහිමියන්ගේ ආගමනයත් සමඟ සිදුවිය. අනතුරුව, බෞද්ධ ජීවන රටාවකට අවතීර්ණ වු ලංකාවාසීහු වී ගොවිතැන ප්රමුඛ කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය කරගනිමින් ජීවත් වු පිරිසක් වූහ. ඒකාධිපති රාජ්‍ය පාලනයක් පැවතිය ද බොහෝ රජවරුන් දේශයේ දියුණුවත්, රටවැසියාගේ දියුණුවත්, බුද්ධ ශාසනයේ අභිවෘද්ධියත් වෙනුවෙන් කළ මෙහෙය අපමණි. මෙයින් වසර දෙදහස් පන්සියයකට ආසන්න කාලය, නිරීක්ෂණය කරමින් ද පෞරාණික නටඹුන් හා වස්තුන් අධ්‍යයනය කිරීමෙන් ද ලේඛන ඇසුරු කිරීමෙන් ද මෙය මනාව ස්ඵූට වේ. ස්වයංපොෂිත රාජ්‍යයක් වු ශ්‍රී ලංකාව වෙසෙසින්, වැව-දාගැබ-ගම-පන්සල අතර වු බැඳියාව හේතුවෙන් ඉතා ඉහළ සංස්කෘතියකට උරුමකම් පෑය. ශිෂ්ඨ සම්පන්න ජාතියක් වු ලක්වැසියෝ ආගන්තුක සත්කාරයේ ද බෙහෙවින් සතුටු වූවෝ වෙති. පසුකාලීනව වෙළඳාම පිණිස මෙහි පැමිණි විදේශිකයින් මෙයින් සතුටුව මෙහි ම ලැගුම් ගත්තාහ. මෙවක පෙරදිග වෙළඳාම සියතට ගෙන සිටි අරාබි ජාතිකයන්ට පහර දෙමින් 1505 දී පෘතුගීසීහු ගාලු වරායට ගොඩ බටහ. ගාලු වරායට පැමිණි පෘතුගීසීන් එවකට කෝට්ටේ රජකළ 8 වන වීර පරාක්‍රමබාහු සිංහල රජතුමා සමඟ ගිවිසුමකට එළඹ වෙරළ ආරක්ෂා කරදෙන පොරොන්දුවෙන් වෙරළබඩ කදවුරු ලෑහ. අනතුරුව ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශ සිය පාලනයට නතුකර කොළඹ කොටුව ද අල්ලා ගත් ඔවුහු සිංහල රජවරුන් හා සටන් කරමින් දේශීය සම්පත් විනාශ කොට ශ්‍රී ලංකාව අරාජික තත්ත්වයකට පත් කෙළේය. විවිධ ආකාරයෙන් විදේශීය බලපෑම් එල්ල වු මෙම වකවානුවේ දෙවනුව ලන්දේසිහු ද පැමිණියහ. පෘතුගීසින් ඵලවා හැරීම අරමුණු කර ගත් සිංහල රජවරු ලන්දේසින් හා මිත්‍රව පෘතුගීසිහු ඵලවා හැරීය. රජුන්ගෙන් සහාය ලැබූ ලන්දේසිහූ ස්වකීය අරමුණු ඉටුකරගනු වස් රට තුළ කඳවුරු බැඳගත්හ. පෘතුගීසින් මෙන්ම දේශීය සම්පත් සිය රටට ගෙන ගිය ඔවුහු බෞද්ධාගමත්, බෞද්ධ ජන ජීවිතයත් විනාශ කිරීමේ කටයුතු වල නිරත වූහ. නිවහල් ස්වාධීන රාජ්‍යයක් වු ශ්‍රී ලංකාව මේ ලෙස බටහිර ආක්රමණයන්ට ගොදුරුව නිතර යුද්ධ කරමින් අරාජික තත්ත්වයට පත්වෙමින් පැවැතිය ද බෞද්ධාගමත්, ඓතිහාසික උරුමයත්, ලාංකීයත්වයත් නොනැසී පැවතිණ. එසේ වුවත් පෘතුගීසි හා ලන්දේසි ආධිපත්‍යය යටතේ ශ්‍රී ලංකාවේ ඇති වු පරිපාලන, ආර්ථික, ආගමික හා සමාජීය වෙනස්වීම් බෙහෙවි.ක්‍රි.ව. 1796 දී ඇරඹුණු බ්‍රිතාන්‍ය පාලන යුගය ඒ වඩාත් ඉදිරියට ගෙන ආවේය. ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ යුරෝපීය ජාතීන්ගෙන් වඩාත්ම ප්‍රබල ජාතියක් වූ ඉංග්රීසිහු විටින් විට යුද ප්‍රකාශ කරමින් අවසානයේ සිය සූක්ෂමව අරමුණින් උඩරට රජු හා අමාත්‍යවරු භේද කොට ගිවිසුමකට පොළොඹවා 1815 පෙබරවාරියේ දී ලංකා රාජ්‍යයම යටත් කරගත්තේය. සිංහලයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත් ඉංග්‍රිසීන් එතුමා ඉන්දියාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව ලක්බිමෙහි සශ්‍රිකත්වය ද බ්‍රිතාන්‍යයට අවැසි පරිද්දෙන් ප්‍රයෝජනයට ගත්හ. දේශීය සවයං ආර්ථිකයක් මත යැපුණු ලාංකීය ජනයා පරාධීන ජාතියක් හා දේශයක් බවට පත්කිරීමට අවැසි සියලු කටයුතු සැලසුම් කොට ක්‍රියාත්මක කළෝය.1948 පෙබරවාරියේ දී නිදහස ලබාගන්නා තෙක් වසර 138 ක් මුළු දිවයිනම පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු දේශීය කෘෂිකර්මාන්තය වෙනුවට අපනයන බෝග වගාවන්ට ලක්වැසියන් හුරු කරමින්, සමාජ, ආර්ථික, අධ්‍යාපන, දේශපාලන හා සංස්කෘතික අංශ නවමු මඟකට යොමුකොට එතුළින් ලංකාවේ සංවර්ධනයට පදනම දැමීය. එසේ නමුත් 1948 නිදහසින් පසුව, ඓතිහාසික කරුණු මත පදනම් වු ශ්‍රී ලංකාවේ අනන්‍යතාව රැකගැනීමට දේශීය පාලකයන් කටයුතු කළහ. වැව් අමුණු හා වාරිමාර්ග පිළිසකර කරමින් ද, නව වාරිමාර්ග ඇතිකරමින් ද කෘෂිකාර්මාන්තය නඟා සිටුවීමට උත්සාහ කළ අතර වෙහෙර විහාර දාගැබ් ප්‍රතිසංස්කරණය කරමින් හා නව විහාර ආරාම චෛත්‍ය ඉදිකරමින් බෞද්ධ සහජීවනය ලක්වැසියන්ට ලබාදීමට කටයුතු කළේය.
මුල් පිටුව
ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරවඩා හොදින් බැලීමට 1024 X 768
Monday, August 10, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment