Monday, August 10, 2009

යුද්දෙන් පසු ආර්ථිකයේ විශ්මයක් කළ හැකියි ???????


ජුනි,18,(විමසුම) – වර්ගවාදී යුද්ධය අවසන් වීමත් සමගම ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේදී ඉන්දියාවේ, හෙංකොං දේශය වනු ඇතැයි, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු අනාවැකි පල කරයි.
පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය දැරූ, වත්මනෙහි සිංගප්පූරුවේ HSBC බැංකු ප්‍රධානී, ආසියානු කලාපීය ආයෝජන මූලෝපායවේදී තනතුරක් දරන අර්ජුන මහේන්ද්‍ර මහතා මේ පිළිබඳව විදෙස් ප්‍රවෘත්ති සේවයකට පළකල අනාවැකිය මෙසේය.
"ශ්‍රී ලංකාවේ ආර්ථික නැගිටීම විශ්මය ජනක ලෙස සිදුකළ හැකියි. චීනයේ වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස, හොංකොං දේශය ආර්ථික ප්‍රතිලාභ ලබන සේම, දකුණු ඉන්දියාවේ සිට කිලෝමීටර් 31 ක් ආසන්නයේ පිහිටි ලංකාවටද ලොව දෙවැනියට වේගයෙන් වර්ධනය වන ඉන්දියානු ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබිය හැකියි. "
" කොළඹ වරායේ දෛනික මෙහෙයුම් ධාරිතාවෙයෙන් සියයට 70 ක්ම නියෝජනය වනුයේ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය වන අන්තර් වරාය බහලුම් කටයුතුයි. ඉන්දියාවේ ප්‍රමාණවත් වරාය පහසුකම් නැති නිසා අපට මේ ප්‍රමාණය වැඩි දියුණු කල හැකියි. මේ වන විටත් කොළඹ දකුණු වරාය පුළුල් කරන සැලසුම් සකස් කරමින් පවතින නිසා මෙම ඉලක්ක සපුරා ගත හැකියි."
ඇමෙරිකානු ඩොලර් බිලියන 32 ක වාර්ෂික වටිනාකමක් ඇති ශ්‍රී ලංකා ආර්ථිකයේ වසර 06 කට පසු වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය මේ වසරේ මුල් කාර්තුවේ වාර්තා වූ අතර එය ගිය වසරේ මුල් කාර්තුවේ වූ සියයට 6.2 ට සාපේක්ෂව සියයට 1.5 කි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ වසරේ මුල් කාර්තුවේදී අංශ තුනේම වාර්තාවූ අඩු වර්ධනය ආර්ථික වර්ධනය පහළ යෑමට හේතුවූ බවත් සේවා අංශයේ දැඩි පසුබෑම කැපී පෙනෙන බවයි.
ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම මෙම මන්දගාමී වර්ධනයට සෘජු හා වක්‍ර ලෙස බලපා තිබෙන බව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සුරංජනා විද්‍යාරත්න මහත්මිය ඊයේ කොළඹදී පැවසුවාය.
කෙසේවෙතත්, ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම දුබලතා මග හරවමින් ශීඝ්‍ර ආර්ථික වර්ධනයකට යුද්ධයේ අවසානයත් සමගම ලංකාව සාර්ථකව අධිතාලමක් දමමින් පවතින බවයි.
ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වසනීයත්වය වැඩි වර්ධනය කරමින් පසුගිය මැයි 18 දා කොටි සංවිධානය යුද්ධමය වශයෙන් මෙරට ආරක්ෂක හමුදාව විසින් පරාජය කිරීමත් සමගම මෙරට කොටස් වෙළෙඳ පොළේ ප්‍රධාන මිල දර්ශක අගය සියයට 20 කින් ඉහළ ගොස් ඇති අතර සංචාරක, ආයෝජන, වෙළෙඳ මේ ආදී සෑම ක්ෂේත්‍රයකම පිබිදීමක් අපේක්ෂා කරන බවද විශ්ලේෂකයෝ පවසති.

No comments:

Post a Comment